කමත් කවි


ගොයම් පාගන තැන කමත නමින් බැවහරයේ එයි. සමහර පළාත්වල ගොයම් පාගනු ලබන්නේ මිනිසුන් විසිනි. විශාල කුඹුරු යායවල ගවයන් ලවා ගොයම් පාගවති. කොළ මැඩවීමය කියන්නේ මෙයටය. ගොයම් පෑගීමේදී පැරැණි අය කියමින් ප්‍රීත වූ කමත් කවි පෙළකි මේ. මෙහිදී ද ආගම් ධර්මය ඉදිරිපත් කරගෙන දෙවියන් යැදි බව පෙනේ.


බුදුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විහිදෙයි වට
යොදුන් උසට තිබෙනා බැට
බුදුන් අණින් එන් කමතට


දහම් බෙලෙන් මේ කමතට
සඳුන් සුවඳ විහිදෙයි වට
යොදුන් උසට තිබෙනා බැට
දහම් බෙලෙන් එන් කමතට


සඟුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විහිදෙයි වට
යොදුන් උසට තිබෙනා බැට
සඟුන් අණින් එන් කමතට


මේ කාගේදෝ කමතා
ඉරු දෙවියන්නේ කමතා
ඉරු දෙවියෝ වැඩි කමතා
ඉරු දෙවියෝ බැත දෙවතා


මේ කාගේදෝ කමතා
සඳ දෙවියන්ගේ කමතා
සඳ දෙවියෝ වැඩි කමතා
සඳ දෙවියෝ බැත දෙවතා


මේ කොතනින් ගෙනා ගොනා
දෙවුන්දරින් ගෙනා ගොනා
මේ මොනවට ගෙනා ගොනා
කොළ මඩනට ගෙනා ගොනා


මේ කොතනින් ගෙනා ගොනා
කතරගමින් ගෙනා ගොනා
කොළ මඩනට හොඳ ද ගොනා
කොළ මඩනට හොඳයි ගොනා


ගොනු යන්නේ කඳු උඩලු
අපි යන්නේ පාබොඩ ලු
ගලතන්නේ වෙල වළලු
පළඳින්නේ කිරි පබලු


මුදුනේ යන ගොන් රජුනේ
ඊ ළඟ යන කිරි පුසිනේ
අවට දුවන නාම්බනේ
කොළ මඩවා දෙන් සොඳිනේ


අටුකොටුවල තියෙන බැතා
ඉහළපහළ තියෙන බැතා
ලබුගෙඩිවල තියෙන බැතා
ගෙන පුරවන් මේ කමතා


ගොනා නිකම් බකිරි බතා
උගෙ කන්වැල් වෙහෙර වතා
වෙහෙර සතක උස මහතා
එපමනක් උස බැත දෙවතා


අං දෙක රන් බන්දඤ්ඤා
කන් දෙක මේවර ලඤ්ඤා
සොඬරේ මුතු අමුණඤ්ඤා
රූබර කොළ මඩවඤ්ඥා


බුදුන් වටින වේලාවයි
කිරි උතුරන වේලාවයි
කොළ මඩවන වේලාවයි
කමත පිරෙන වේලාවයි


උදයට පායන ඉරු දෙවියන්ඩයි
සවසට පායන සඳ දෙවියන්ඩයි
සතර සයුරෙ වැසෙනා දෙවියන්ඩයි
සතර වරම් දෙවියෝ පින් ගන්නඩයි




ගොවිතැන් බත් කිරීම මෙසේ ප්‍රීතියෙන් කළ නමුදු ගොවියාට නියම ප්‍රීතිය පහළ වනුයේ ගොයම් කපා පාගා අස්වැන්න ගෙට ගත් කලය, වෙන වචනවලින් කියතොත් අස්වැන්නෙන් අඩුකොටු පිරුණු විටය.

"පැමිණි දුක් පැණි රසය" යන ප්‍රස්තාව පිරුළ සැබෑ කරමින් රෑ නිදි මරමින් පැල් රකිමින් බොහෝ වෙහෙස මහන්සි වී ගොවිතැන් කොට අටුකොටු පුරවා ගැන්ම ‘‘දුක ළඟට සැප‘‘ බව ගොවීහු හොඳින් ම දනිති. ඒ එසේ වුවද ශොකාකූල සිවුපද ඔවුන්ගේ මුවඟින් ගලා බැසීම නො වැළැක්විය හැකි අවස්ථා ද නැත්තේ නොවේ. මෙන්න කුඹුරු පාලු වී කළ අඳෝනාවක්.


කැලේ කපා වැට බැන්දා කැත්ත දනී
කුඹුරු කොටා දිය බැන්දා නියර දනී
හීත කකා පැල් ලැග්ගා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී


එවැනි අවස්ථාවක දෙවියන් බුදුන් සිහි කොට දුක තුනී කර ගත් අයුරු මේ ජන කවියෙන් පැවැසේ.


පාට හොඳයි පැලවෙන ගොමේ නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රිල්ල
දෑල දෙගොඩ හඬනා මැඩියන් ගොල්ල
දෙයියනි බුදුනි පාලුයි තංගලු මුල්ල

කමතේදී ද ගොයම් කැපීමේදී ද බැවහර වන බස සාමාන්‍ය ව්‍යවහාරයට වෙනස්ය. ගොවි බස මෙසේය.


දෑකැත්ත = ලියන්නාව
කැත්ත = අත්බරුව
උදැල්ල = බිංලියන්නාව
පිහිය = කැපෙන්නාව
හිරමනේ = දැතිබෝය
වංගෙඩිය = උහන්ගෙඩිය
වී = බැට, බැත
වී කොටනවා = මෝල් හම්බානවා
හාල් = පෑහිය
බත් = පුබ්බරබෝය
මාපැදුර = මාගල
පිදුරු = මැඩුහන්
මල්ල = කටුපන
පැදුර = අතුරන්නාව
බුලත් = පැඟිරිකොළබෝය
පුවක් = කහටපලුබෝය
දුම්කොළ = තිත්තකොළබෝය
හුණු = සුදුවබෝය
ගින්දර = රත්නබෝය
රෙද්ද = හියාරන්නාව
වර්ෂාව = ගඟුල, ගඟුලාව
ඇතා = මහඇඹයා
හරකා = අංබරුවා
ඌරා = කළුගෙඩියා
කූඩැල්ලා = ආවුද බට්ටා, සෙවෙල්ඇඹයා
ලබු = සුදු දියගෙඩි
තියඹරා = රතු දියගෙඩි
මිනිහා = ඇඹයා
ගැහැනිය = ඇඹී
ටික = බෝය
ගමන්කිරීම = පුරවනවා
කනවා = සීරුකරනවා, ජය කරනවා
කමත් කවි කමත් කවි Reviewed by Admin on 6:40 AM Rating: 5

3 comments:

Powered by Blogger.