පතල් කවි | Pathal Kavi

මිනිරන් පතල්වල භාවිත වූ මේ ජන කවි ඒවායේ තතු පහදා දෙයි. 

වළ ඇතුළේ සොල්දර          වාසනාවන්
සොල්දර උඩට දබරේ          වාසනාවන්
දබරේ උඩට දම්වැල            වාසනාවන්
දුප්පත් අපට පතලේ            වාසනාවන්

මං මුළා වෙලා මේ රට                  පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක්                  දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි               වෙනවා
බංගලා වළේ දෝනාවට අපි                 යනවා

දුම්බර කන්ද පාවුල ගම                      රාගෙදර 
මිනිරන් ගෙන යන්න කැපුවා              මහ පාර
වතුරෙන් සැප හොඳයි කුඹුකේ ළින්         වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ               රාගෙදර

මිනිරන් පතලෙ හරියට අපෙ ගෙදර            වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්මා             වගේ
ලියනඅප්පු පවුලේ ලොකු අයිය                  වගේ
ලෝඩර ගොල්ල හරියට මහ සොහොන      වගේ

මහත්තයෝ මං කී දේ අහනව                          ද 
අතේ තියෙන කරගැට පොඩි බලනව                ද 
පොතේ තියෙන පඩි ගණනත් කියනව              ද 
ගමයට යන්ඩ පඩි තුන්ඩුව ලැබෙනව                ද 

කම්කටොලුවලින් නොතොර මේ දුක් බර රැකියාව පණ එපා යි වචනයෙන් නොපවසා කළ බව නොරහසකි. 

ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක්                යට 
කන්නෙත් කරවලයි රට හාලේ                  බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ          පවට
යන්නෙත් කවදාද මවුපියො                 දකින්නට

මේ පතල් කවියෙන් දඩබ්බර තැනෙක දුම්බර කළු ගලක් යට තැනුණු පැල්පතෙක වාඩිලාගත් බව කීමෙන් වාසස්ථානයේ අඩුපාඩු පෙනේ. පෝෂ්‍යදායක රසවත් කෑමත් නොලැබෙන බව කන්නෙත් කරවලයි රට හාලේ බතට යයි කීමෙන් මතු වී පෙනෙන අතර ඒ නීරස ආහාර ගන්නා විට මවුපියන් රසහර කවා ඇති දැඩි කළ සැටිත් ඔවුන්ගේ වටිනාකමත් නො දැනුවත්වම සිතට කා වැදුණු බව එළිදරවු වෙයි. එමතු ද නොවේ දාර්ශනිකයකු සේ කර්ම විපාකය සැබෑ බව සිහිකරමින් ආගමයට හිස නමන අතර පිරිසිදු වතුර පොදක් වත් බොන්නට නො ලැබෙන බවත් මඩ වතුර(=බොර දිය) බොන බවත් කියමින් දුක්වෙයි. මෙවැනි කවිවල ගප් වූ දේ සිහිකරන විට ගැම කවියේ ඇති තාත්වික බව හා රසය හා සමාජ ජීවිත තතු ඇති සැටියෙන් ම පණ පෙවී පෙනේ.

ලංකාවට ධන සම්භාරයක් ලබාදෙන මිනිරන් කර්මාන්තය ඉතා බිය ගෙන දෙන රැකියාවක් බව යට සඳහන් වී ඇත. මිනිරන් වළේ සිටින හැම මොහොතම පණපිටින් මිනී වළේ දමා වද දීමක් වැනිය. ශ්‍රම ශක්තියේ(=දහඩිය මහන්සියේ) ඵලය වූ පඩිය ලබා ගැන්ම ගිය විට කම්මුල් පහරට ලක් වූ දුගී කම්කරුවකුගේ හද කකියවන ශෝකයත් පාපොච්ඡාරණයත් මතු කර පෙන්වන මේ අදෝනාව මිනිරන් පතලේය දෝංකාරයට වඩා සිය ගුණයෙන් සිත් කම්පා කරවන ආන්දෝනයකි. 


එන්ඩ කිව් දිනට පඩි ගන්නට                         ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත             කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට                 බැරිවා
යන්ඩ කියා කන්සට පහරක්                       ගැසුවා

වඳුරාගොඩට අපි ඇවිදින් විඳින                      දුකා
ගැටිය නැති මුට්ටු පොඩියේ උයන්                කකා
පනම් විස්ස ණය වෙන කොට හිතට               දුකා
මීට වැඩිය නරකද ගම හිඟා                          කකා

උගතුන්ගේ කවිවල නීති රීති නොදත් ගැමි කවියා සමාජ චිත්‍ර මවා පෑමට උපතින්ම හපනෙකි. මේ පතල් කවි ඒ බව ඔප්පු කරයි. 

ඉන්නෙත් මීගොඩයි විත් පූරුවේ                  පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි                මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ                    බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට               ගමට

ඩබරෙ කරකවා අත් දෙක                    වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                         එනවා
මිතුරෙ පතල් වැඩ ගැන මගෙ මඩ                 දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                       දෙමු
දන්න දන්න තාලෙන් සීපද                           කියමු
දෝස දුරැර අපි ගම රටවල                            යවමු
පතල් කවි | Pathal Kavi පතල් කවි | Pathal Kavi Reviewed by Admin on 11:11 PM Rating: 5

No comments:

Powered by Blogger.